ස්ටීව් ජොබ්ස් මරණ මංචකයේදී බොරැව

 ම ව්‍යාපාර ලෝකයේ ජයග්‍රහණයේ මුදුන් හිණිපෙත්තටම පැමිණි අයෙක්‌මි. බොහෝ අය දකින පරිදි මගේ ජීවිතය ජයග්‍රහණය පිළිබඳවම වූ සංකේතයකි.
එහෙත්, වැඩ කිරීමෙන් ලද සතුටට අමතරව මා ජීවිතයෙන් ලද සතුටක්‌ ඇතිනම් ඒ ඉතා ස්‌වල්ප වශයෙනි. මා මේ ජීවිතයෙන් ලබා ගත් එකම සතුට ධනවත් වීම පමණකි.
මේ මොහොතේ මේ ගිලන් ඇඳේ වැතිරී ඉඳිමින් මම මගේ මුළු ජීවිතයම මෙනෙහි කරමි. ළඟ ළඟම එළඹෙන මරණය හමුවේ මා මෙතෙක්‌ ආඩම්බරයෙන් දරා උන් ධනවත් බවෙහිත් කීර්තියේත් දීප්තිමත් බව කෙමෙන් දියවී යන අයුරු මට පෙනෙයි.
අද මගේ පණ නල රැඳී තිබෙන්නේ මගේ සිරුරට සවි කර ඇති මේ යන්ත්‍රවල පිහිටෙනි. ඒ යන්ත්‍රවල මුණු මුණුවත්, ඒවායේ කොළ පැහැ එළිත් අඳුරේදී දකින මට මරණයේ දේවතාවන්ගේ හුස්‌ම හඬ කෙමෙන් ළං වෙන්නාක්‌ මෙන් දැනෙයි.
ජීවත් වෙන්නට ප්‍රමාණවත් තරම් මුදල් උපයා ගත් විට, ධනවත්කම හා බැඳීමක්‌ නැතත් ජීවිතය හා බඳීමක්‌ ඇති අනෙකුත් කාරණා ඉටු කරගන්නට කටයුතු කළ යුතු බව මට දැන් දැනෙයි.
ඒවා ධනවත්කම තරමටම ජීවිතයට වැදගත්ය.
අපේ සමීපතමයන් හා ඇති බැඳීම, කලාව, ළමාවියේදී අප මැවූ සිහින.. මේවා ධනවත්කමට වඩා ජීවිතයට වැදගත්ය.
මේ සියල්ල අත්හැර ධනය පසුපසම හඹා යැමෙන් වනුයේ මා වැනි පැටලුම් සහගත පීඩිත මිනිසෙකු නිර්මාණය වීමය.
දෙවියන් අපට සිතන්නට ශක්‌තිය දුන්නේ අන් අයගේ සිත්හි ඇති ආදරය කරුණාව දකින්නට මිස ධනය විසින් මැවූ මායාවේ දීප්තිය පමණක්‌ දකින්නට නොවේ.
මා විසින් උපයා ගත් අසීමාන්තික ධනයෙන් කිසිවක්‌ අද මට ගෙනයන්නට නොහැකිය. මට ගෙනයන්නට හැක්‌කේ මගේ සිතෙහි රැඳුණු ආදරය පිළිබඳ මතකයන් පමණකි.
අපට උපයා ගත හැකි සැබෑ ධනවත්කම් ඒවාය. ජීවිතයට ආලෝකයත් ශක්‌තියත් ලබා දෙන්නේ ඒ ධනවත්කම් මගින් පමණකි. ජීවිතයේදීත් මරණයේදීත් අප හා රැඳී සිටින්නේත් ඒ මතකයන්ගෙන් සැදුම්ලත් ධනය පමණකි.
ආදරයට සැතපුම් දහස්‌ ගණන් දුර යා හැකිය. ජීවිතයට සීමා මායිම් නැත. ඒ නිසා ජීවිතය තුළ සැරිසරන්න. ඔබට හැකි තරම් ඉහළ ඉලක්‌කයකට ගමන් කරන්න.. ඒ සියල්ලට ශක්‌තිය ඇත්තේ ඔබේ හදවතේ හා ඔබේ දෑතෙහිය.
මේ ලොව මිල අධිකම ඇඳ කුමක්‌ද..?
ඒ ගිලන් ඇඳයි..
ඔබට ඔබේ වාහනය ඔබ වෙනුවෙන් පදවාගෙන යන්නට කෙනෙකු මුදලට සොයා ගත හැකිය. එහෙත් ඔබ වෙනුවෙන් ඔබේ රෝගී බව දරාගනිමින් ගිලන් ඇඳක සැතපෙන්නට කෙනෙකු කොතරම් මුදල් ගෙවාවත් සොයා ගන්නට නොහැකිය.
නැති වෙන, විනාශ වෙන භෞතික දේවල් නැවත ලබා ගන්නට හැකිය. එහෙත් නැති වී ගිය ජීවිතයක්‌ නැවත ලබා ගන්නට කවමදාකවත් නොහැකිය.
ඔබ කොතරම් පොත් පත් කියවා ඇති අයකු වුවත්, ඔබට කියවන්නට නොහැකි වූ තවත් එක්‌ පොතක්‌ ඇති බව ශල්‍යාගාරයට ඔබව ගෙනයන මොහොතක ඔබට මතක්‌ වනු ඇත. ඒ නිරෝගී ජීවිතයකට මාර්ගය නම් පොතයි.
අප ඉන්නේ ජීවිතයේ කුමන අවධියක වුවද, ජීවිත කතාවේ තිරය වැසෙන දිනය ඕනෑම මොහොතක එළඹිය හැකිය. ජීවිතය එබඳු අවිනිශ්චිත නාට්‍යයකි.
එබැවින් ඔබේ පවුලට, සැමියාට බිරිඳට, මිතුරු මිතුරියන්ට ආදරය කරන්න.
ඔබට ආදරය කරන්න.
ඔබව මෙන්ම අනෙක්‌ අයවත් ආදරයෙන් රැක බලා ගන්න.//

ස්ටීව් ජෝබ්ස්ට සම්බන්ධ කිසිම පුද්ගලයෙකු විසින් සනාථ නොකරන ලද ඉහත ප්‍රකාශය ස්ටීව් ජොබ්ස් මියගොස් වසර හතරකට පසු කවුදෝ බ්ලොග් අඩවියකට ලියු ප්‍රබන්ධයක්  බව දැනට ඇති පිළි ගැනීමයි.

තමන් ධනය සෙවූ ආකාරය ගැනවත්  , ජීවත් වූ රටාව ගැනවත් ස්ටීව් ජොබ්ස් කිසිදා කළකිරී නොසිටි බවත් ඔහු ජීවිතයෙන් ලද එකම සතුට ධනවත් වීම පමණක්  නොවන බවත් ඔහු ගැන කියවන ඕනෑම කෙනෙකුට වැටහී යනු ඇත . අප සමහරවිට ධනවතුන් යැයි හඳුනන්නේ ජාවාරම්කාරයන් හෝ දේශපාලකයන් කිහිප දෙනෙක් ගැන පමණක් වන්නට පුළුවන. නිර්මාණශීලීව ව්‍යාපාර දියුණු කළ , සිය ගණනකට රස්සා ලබා දුන්   දෙස් හා  විදෙස් බොහෝ  ධනවතුන් සිය ජීවිතය අර්ථාන්විතව ගත කොට තිබේ. කලාවට, සමාජ සේවයට හා විනෝද වීමට කාලය වෙන්කරගෙන තිබේ.

Carmine Gallo කාමයින් ගැල්ලෝ නම් දේශකයා ස්ටීව් ජොබ්ස් ගෙන් උගත හැකි ප්‍රධානම ආදර්ශ හතක් ගැන ලියා තිබේ.

  1. ඔබ ආශා කරන දේ කරන්න . රැකියාව හෝ ව්‍යාපාරය  තමන් කැමැති ආශා කරන දේවල්  වූ විට ඒවා  අර්ථ සම්පන්නය .  ( එහෙම කියන ස්ටීව් ජොබ්ස් ජීවිතය ගැන  පසුතැවිලි වෙමින් සිටි බව කටකතා කාරයෝ පසුව ලියා තබති. ලෝකය ඉදිරියට ගෙන යන්නේ නිරාශාව නොව ආශාව නිසා බව ස්ටීව් ජොබ්ස් නොකියා කියයි )
  2.  විශ්වයේ සලකුණක් තබන්න. ඔබ ලෝකයේ ජීවත් වූ බවට විශ්වයේ සටහනක් එකතු වන විදිහේ වැඩ කරන්න . පරසිද්ද බීම සමාගමක සබාපතිගෙන් ස්ටීව් ජොබ්ස් වරක් අසා තිබුනේ ඔබ   හැමදාම පාට වතුර විතරක් විකුනනවාද  නැත්නම් ලෝකය වෙනස් කරන්නට හවුල් වෙනවාද යන්නය . 
  3. සම්බන්ධතා ගොඩ නගන්න - නිර්මාණශීලීත්වය යනු නොයෙක් දේ තර්කානුකුලව සම්බන්ධ කර අපුරු යමක් හඳුන්වා දීමයි. ව්‍යවසායයෙක් නිර්මානශීලී මෙන්ම මේ සම්බන්ධතා ගැන පළල් අදහසක් ඇති අයෙක් විය යුතුය. යුතු  ජීවන අත්දැකීම් සහිත විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්ගේ සම්මාදම ලබාගත් විට අප හිතන්නේ නැති , අපට මගහැරෙන අංශවල සම්බන්ධයක් අපගේ කාර්යයට එකතු කර ගන්නට පුළුවන . මැකින්ටොෂ් පරිඝනකය නිපදවීමට පෙර ස්ටීව් ජොබ්ස් විසින් සමහරුන්  නිෂ්ප්‍රයෝජන කටයුත්තක් යැයි සිතු  චාරු ලේඛය ගැන හැදෑරූ බව සඳහන් වේ .
  4. නෑ බෑ කියන්නට පුරුදු වෙන්න . සාර්ථක ව්‍යවසායකයෙකුට සමහර දේට නැත කියා කියන්නට සිදු වනු ඇත . නැතිනම් බැහැ කියා කියන්නට සිදුවනු ඇත. දැනට ලාබෙට විකුණමින් පවතින ධනාත්මක චින්තනයට ප්‍රතිවිරුද්ධ කතාවක්  වුනත් සත්‍යය එයයි. 1997 දී ඇපල් සමාගමට යලි සම්බන්ධ වුණායින් පසු ස්ටීව් ජොබ්ස් විසින් එහි අලෙවි  කෙරෙමින් තිබු නිෂ්පාදන 350 කප්පාදු කර දැම්මේ හරියට අවධානය යොමු කළහැකි වඩා කාර්යක්ෂම කණ්ඩායම්වලට  බාර දිය හැකි නිෂ්පාදන දහයක් පමණක් ඉතිරි වන පරිදිය. 
  5. නව්‍යකරණය ගැන වැඩිපුර හිතන්න. නිරන්තරයෙන් හිතන්න . සෑම පාරිබෝගික සේවාවකදීම නවමු අත්දැකීමක් ලබා දෙන්නට උත්සහ කරන්න 
  6. දෙන පණිවිඩය හොඳින්ම  ලබා දෙන්න- මොන තරම් ශ්‍රේෂ්ඨ අදහස් තිබ්බත් එය අවශ්‍ය පුද්ගලයාට තේරුම් කිරීමට නොහැකිනම් ඉන් පලක් නැත . ස්ටීව් ජොබ්ස් ලොව සිටි ඉතා සාර්ථක වාණිජ සන්නිවේදකයෙකු සහ දේශකයෙකු වුනේය 
  7.  හුදු නිෂ්පාදන වෙනුවට සිහින විකුනන්න  . - අති සංකීර්ණ, අතීශය වැඩි දියුණු කරන ලද මෙවලමක් වුව එය පාවිච්චි කරන්නාට හුරුබුහුටි එකක් නොවනතාක් එය  වෙළඳපල ජය ගන්නේ නැත . පාරිබෝගිකයා  හිතන්නේ  තමන් ගැන සහ තමන්ගේ සිහින ගැන මිසක් නිෂ්පාදක සමාගම ගැන නොවේ. ඇපල් සමාගමේ අයි පෑඩ් වැනි  නිෂ්පාදන කුඩා  ළමයින් පවා ආකර්ෂණය කරගෙන ඒවා වෙත බැඳ තබා ගන්නට සමත් වී ඇත්තේ මේ චින්තනය නිසාය.
 උපුටා ගැනීම (http://thilakasitha.blogspot.com/2018/)

Comments

Popular posts from this blog

සමාජ සේවකයා යනු...

‍ශ්‍රී සපුමල් බංඩර දේවාලය - උඩපොල , වදාකඩ

තළකොල තේ ඇසුරැම් හැදෙන හැටි